Blog Archive

Sunday, July 5, 2015

මේ ජීවිතයේදීම නිවන් දැකිය යුත්තේ ඇයි?


සාමාන්‍ය ජීවිතයේදී මිනිසුන් මෙන්ම සත්ත්වයින්ද ඉපදීමෙන් පසු බොහෝ විට ගත කරන්නේ ඒකාකාරී ජීවන රටාවකි. මිනිසා නම් ඉපදීමෙන් පසු කිසියම් වූ ශිල්ප ශාස්ත්‍රයක් උගනියි, ඒ අනුව ජීවිකාව සිදු කර ගනී. ආවාහ විවාහ වෙයි, දරුමල්ලන් තනයි,අනතුරුව ජරාවට ගොස් මරණයට පත්වේ. මිළ මුදල් ලැබෙන ආකාරය අනුව සිතන ආකාරය අනුව නිරෝගී බව යන කරුණු මත මෙම ජීවන  රටාවේ යම් යම් වෙනස් කම් සිදුවිය හැකි නමුදු වැඩි බහුතරයකගේ එකම පැවැත්ම මෙය වේ. ළමා තරුණ කාලවලදී කෙලිදෙලෙන් ගත කලද කිසිවක් නොතැකුවද බොහෝ දෙනෙකුට මරණය පිළිබදව සිහිවන්නේ වයසට යෑමත් සමගිනි. ඒ බිය  නිසා ඒ සදහා පෙර නොසිතුනු උපක්‍රමද මතක් වේ. එනම් පෝයටවත් පන්සලට ගොඩ වී ශීල සමාදානයේ යෙදීමය. බොහෝ දෙනෙකු ඒ පිලිබදව සිතමින් තම තරුණ කාලයේ කල වැරදි අමතක කරමින් සිත හදා ගනිති. නමුත් තවත් සමහරුන්ට වයසටයත්ම විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වී අවසානයේ පන්සල් යෑමටවත් නොහැකි තත්වයකට පත් වේ. එවිට ඔවුන්ට මෙතුවක් කල් තමුන් කල මොඩ ක්‍රියවන් වැටහේ. මේ ලෝකයේ වයසට යන විට නැතිනම් අඩුම තරමින් තම තරුණ විය ගෙවී යන විට, අවුරුු තිහ පැන්න විට තම ගෙවී යන ජීවිතය බලා සුලු වූ හෝ දුකක් ඇති කර නොගන්නා මිනිසකු ගැහැණියකු නොමැත. නමුත් එය හරිහැටි තේරුම් නොගැනීම හේතුවෙන් ඒ කාලයේදීවත් මිනිසුන් තම ජීවිතයේ අනිත්‍ය බව පිලිබදව තේරුම් නොගනියි.

නමුත් වයසට ගොස් හෝ පොහොය දින සිල් සමාදන් වීම සදහා පැමිණෙන බොහෝ පිරිස් එකල්හිද වරද්දා ගනිමින් එම ශිල ක්‍රියාවෙන් බලාපොරාත්තු වන්නේ මීලග ආත්මයේ සුගතියකට පත්වීමයි. මෙය බොහෝ කොට දිව්‍ය සැපයි.(අවස්ථාවට මතක් වුනු දෙයක් මෙහිදී කිව යුතුය. සමහරුන් මිනිසකු කරන ක්‍රියාවන් පසු භවයේදී දිව්‍ය සැප හෝ ඔහුට ලැබෙන් මිල මුදල් වලට කෙසේ මුල් වේ දැයි අසති. අද දැනුමේ හැටියටද සියලු දේ සාපේක්ෂ වේයැයි බොහෝ දෙනෙකුට අවබෝධ කරගත හැකි වේයැයි සිතමි. ඒ අනුව සත්ත්වයාද ඔශු මතු ලබන සියලු දේද සාපේක්ෂ දේවල්ම වේ. ඒවායේ කිසිදු ගතිකත්වයක් නොමැත. ඒවා දිව්‍ය සැප හෝ යාන වාහාන හෝ මිල මුදල් ලෙස හදුන්වාගන්නේ මේ සාපේක්ෂ බවේම සිටින අප විසිනි. ) කිසියම් හේතුවක් නිසා එය වැරදුනොත් අඩුම තරමින් මනුෂ්‍ය භවයේ වුව හොද තැනක ඉපදීමට මෙම ශිලය හා පින්කම් ඉවහල් වනු ඇත. බුදු දහමේ ප්‍රධාන පරමාර්ථය වන නිර්වානය ඔවුන් සිතන්නේ ඉබේ සිදුවන්නක් ලෙසය. එනම් ලබන භවයේ දිව්‍ය සැප ලැබ නිවන් දැකිය හැක. නමුත් මේ භවයේ උත්සාහ නොකරන නිර්වාණය තවත් ඉතාමත් සැප ඇති තැනකදී කෙසේ වඩයිදැයි ඔවුන් සිතන්නේ නැත. එසේම තවත් පිරිසක්තුල නිර්වාණ්‍ය පිළිබදව ඇත්තේ බියකි. එනම් තමුන් නැති වන බවද, තවදුරටත් කිසිදු ලෞකික සැපයක් නොලබන බවත් සිතා පසුවට මෙවැන්නක් තේරුම් ගැනීමට මෙන් සිතා දිව්‍ය සැපම ප්‍රාර්ථනා කෙරෙති. මේ සියලු දේට හේතු වී ඇත්තේ සංසාරය පිළිබදව ඇති නොදැනුවත් කමයි . එහි භයානක කම ඝෝරතර බව පිලිබද ඇති නොදැනුවත් කමයි. මෙම නිසා මේ ලිපියෙන් අප අදහස් කරන්නේ මේ ජීවිතයේදීම සැවොම නිවන් අවබෝධ කර ගත යුත්තේ ඇයි යන ගැටලුවට පිළිතුරු ලබා දීමයි.
 
කිසියම් කෙනෙකු මේ ජීවිතයේදී දන් දීම් සිල් රැකීම් ආදී පින් කොට මතු දිව්‍ය සැප ප්‍රාර්ථනා කරයි යැයි සිතමු.  ඔහුගේ ප්‍රාර්ථනය අනුව පින් රැස්කිරීමද සිදු කර ඇති බැවින් මතු දිව්‍ය ලෝකයේ උපදී.නමුත් සියල්ලම අනිත්‍යය. කවදා හෝ ඔහුට ඉන් චුතවීම අනිවාර්යය වේ. ඉන්පසු ආත්මයක ඔහු සැප ඇති මිත්‍යා දෘශ්ටික පවුලක උපත ලබයි. මන්ද යත් බුදු දහම සෑම කාලයකම නැත. වැඩි පුර සිටින්නේද මිත්‍යා දෘශ්ටිකයන්ය. කොතරම් සැප ලැබුවත් දැන් මේ මිත්‍යාදෘශ්ටික බවෙන් ගැලවීමට ඔහුට හැකිවේද? පෙර තමුන් පිලිකුල් කල ප්‍රාණ ඝාත , අන්‍යයන් තැලීම් පෙලීම්, දේව යාතිකා, හදි හූනියම්, වැනියම් දෙයක් තිබුනද දැන් මිත්‍යාදෘශ්ටියේ නාමයෙන් එය සිදු කරයි. එයම සත්‍යයැයි සිතයි. මතු නැවත කිසිදා නොඑන ලෙස දුගතියෙහිම වැටේ. නැවත යම්තම් පිනට හෝ මිනිස් ලොවට පැමිනියද ඒ වන විට බොහෝ දුරට බුදු දහම නොමැත. නැතිනම් බෞද්ධයකු වී  ඉපදුනද වෙනත් මිත්‍යා දෘශ්ටීන්ට පහසුවෙන් යටවී ඒ වෙත ඇදී යයි. මන්ද යත් පුරුද්ද ඇත්තේ එයටම බැවිනි. අද වුවද උපතේ සිට බෞද්ධයකුව සිට අනෙක් ආගම් වෙත ඇදුනකුගේ හැසිරීම් බලන්න. ඔවුන් එහි ඉතාමත් භක්තිමත්ව හැසිරෙනු දැකිය හැක. කාශ්‍යප බුදු රජානන් වහන්සේ වැඩ සිටින සමයේ බුදු වරුන් විසිතුන්දෙනෙකුගෙන නියත විවරණ ලබා සිටි බෝධි සත්ත්වයන් මිත්‍යාදෆෂ්ටික බමුනකුව උපත ලබා තිබුනි. වර්ථමාන සක්දෙව් රජු එවකට බෝධිසත්ත්වයින්ගේ හොදම මිතුරා බවට පත්ව සිටියේය.නමුත් බෝධිසත්ත්වයින් වෙත කොතෙක් ඇවිටිලි කලද බුදු බන ඇසීමට යාම ප්‍රතික්ෂේප කලේය. ඒ මදිවාට බුදුන්ට පරිභව කිරීමද සිදුකලේය. මෙම පරිභව කිරීම බුදු වුනු පසු පවා පළදුන් කර්මයක් බවටද පත්විය. පසුව බෝධි සත්ත්වයන්ගේ හොදම මිතුරා උපක්‍රමයක් දමා බෝ සතුන් කාශ්‍යප බුදුරජානන් වහන්සේ වෙත රැගෙන යනු ලැබුනු අතර එහිදී බන ඇසීමෙන් බෝධි සත්ත්වයින් නැවතත් ශාසනය වැළද ගත්තේය.  පාරමිතා පිරීමෙහි උපරිමයට ලගා වී සිටි බෝධි සත්ත්වයින්ටත් මෙසේ වේ නම් අප වැනි පිරිස  පිළිබදව කථා කිරීමට දෙයක් නොමැත.

බුදු කෙනෙකුන් උපදින්නේ අති දීර්ඝ කාලයකට පසුවය. වසර ගණනක සුලු ජීවන කාලයක් ලබා  මිනිසත් බව ලබන සත්ත්වයාට එවන් සමයක්  මගහැරීයාම ඉතාමත් සුලු දෙයකි. නැවතත් සත්ත්වයා එම භවයට පැමිණෙන්නේද නැත. යම් හෙයකින් බුද්ධෝත්පාද සමයක උපත ලැබුවද එහිදී ධර්මය ඇසිය හැකි ආකාරයට ඇස් හා කන් පිහිටා අංගවිකල නොවී උපත ලැබිය යුතුය. තෙරක් නොමැති සාගරයේ වෙසෙන එක් ඇසක් කන කැස්බෑවෙකි. වසර සියයකට පමනක් මේ කැස්බෑවා ඉහලට පැමිණෙයි. එම එන අවස්ථාවේම අනන්ත සාගරයේ පාවි එන විය ගසක සිදුරක් ද කැසුබුවා සිටින පෙදෙසට පැමිණෙන අතර කැස්බෑවා අහස් දකිත්ම ඒ දකින්නේ ඒ පාවී යන විය ගසේ සිදුර තුලිනි. මිනිස් ආත්මයක් ලබා ගැනීමේ දුශ්කර බව මින් පෙන්වා ඇත. එනම් ඉතාමත් සුලු සම්භාවිතාවකින් යුතු අවස්ථාවකි. එනම් එක් අතකට එක් වරක් ලබා ගත් මිනිස් බව බොහෝ දෙනෙකුට නැවත නොලැබෙන බව සිතා ගත්තද එහි වරදක් නොමැත. මෙසේ ලබන මිනිස් භවයේද වැඩි සම්භාවිතාවක් ඇත්තේ නොමග යාමටම වේ. 

වරක් බුදු රජානන් වහන්සේ නිය පිටට වැලි ටිකක් රැගෙන මේ ලෝකයේ මනුෂ්‍ය භවයෙන් චුතවී මනුෂ්‍ය ලෝකයද ඇතුලු සුගතියක උපත ලබන්නේ මුන්ගේ නිය පිට ඇති වැලි ටික පමන පිරිසක් බව දැක්වූ සේක. නොගිනිය හැකි තරම් වුනු දුගතියෙහි උපදින අනෙක් සියලුම සත්ත්ව සංක්‍යාව මහ පොලවෙහි වැලි ප්‍රමාණය මෙන් අනන්ත වූ ප්‍රමාණයකි. එනම් මිනිසත් බව ලැබීම හෝ සුගතියක ඉපදීම මෙන්ම ලබා ගත් ජීවිතයේ කිසියම් කුසලයක යෙදීම කොතරම් දුර්ලභ දැයිද මේ අනුව සිතා ගත හැක. එසේම බුදු රජානන් වහන්සේ මෙම නිය පිටට ගත් වැලි ස්වල්පයේ උපමාව මෙලෙසම තිරිසන් ලෝකයටද, අපායන්ටද, දිව්‍ය ලෝකයන්ටද අදාල කෙරෙයි. ඒ අනුව දිව්‍ය ලෝකයේ ඉපදීමෙන් පවා සත්ත්වයා මුලාවී නිරතුරුව වඩන්නේ අකුසල්ම බව අපට පැහැදිලි වෙයි. දිව්‍ය ලෝකයේ අනන්ත සැප විදින දෙවිවරුන් පවා වැඩි කොට මරණින් පසු උපදින්නේ නරකය, තිරිසන්, අපාය, අටමහා නරකය, ප්‍රේත අපාය වැනි දුගතියකම පමණි.

පුරාණ සිසිලියේ පලාරිස් නම් රජෙක් විය. ඒ සමයෙහි මරණ දඩුවමට යටත් වුනු පුද්ගලයන්ට දඩුවම් දීම ප්‍රසිද්ධියේ සිදුකල සමහරුන්ට විනොදය ගෙන දුන් ක්‍රියාවක් විය.රජුගේ අණ පරිදි පිලේරස් නැමති පුද්ගලයකු විසිත් කුහරමය ලෝකඩ ගවයකු රජුට තනා දුන්නේය. පොර අල්ලන හරකකු ගේ රුවින් තැනුනු එහි බඩ මැදින් ඇති කුහරයට සිරකරුවකු දමා අගුල්ලා ගිණිතැබිය යුතු විය. පණපිටින් රෝස් වන පුද්ගලයාගේ මරලතෝනිය කිසියම් නලපද්ධතියකින් පිටතට පැමිණියේ හරියටම කුලප්පු වුනු හරකකුගේ හඩිනි. මෙම උපකරණය පිලිගැන්වීමේදී රජුට එහි ක්‍රියාකාරීත්වය හරියටම සිදුවේ දැයි බැලීමට අවශ්‍ය විය. ඒ සදහා ඔහු එහි නිපැයුම්කරුට ඒ තුලට රිංගා ලතෝනි දෙන මෙන් පැවසීය. පිලේරස් ගවයා තුලුට රිගු සැනිනි එහි පිටත අගුලු වැසුනි. යටින් ගිණ්දරද දැමුනි. මියයන පිලේරස්ගේ හඩ හරියටම ගවයකුගේ නාදය අනුකරනය කෙරෙමින් හරකාගේ මුවින් පිටවිය. බාගයට මැරුණු  පිලේරස් පසුව කන්දක් මුදුනින් අතහරිනු ලැබුනි. මෙසේ දිට්ඨ දම්මවේදනියවම එම භයානක යන්ත්‍රය පලමු ගොදුර ලෙස එහි නිර්මාපයාවම බිලිගත්තේය. එතැන් පටන් හැට ගණනකගේ පමන ජීවිත බිලිගත් මේ යන්ත්‍රය අවසානයේ මහරජ පලාරිස්වද බිලිගත්තේය. යන්ත්‍රය මුහුදට විසිකරනු ලැබුනි. මෙය බිහිසුණු දඩුවමක් ලෙස අපට දැන් සිතුනද මේ වනාහී අපගේ සාමාන්‍ය සංසාර ජීවිතයයි. අපි මෙවැනි දඩුවම් වලට අනේක වාරයක් ලක්ව ඇති අතර ඉදිරියේදීත් සෝවාන් නොවුවහොත් ලක්විය හැක. එසේම අ්‍යයන්ටද අප මෙවැනි දඩුවම් පමුනුවා ඇති අතර ඉදිරියේදීද සෝවාන් නොවුවහොත් පනවනු ඇත. එසේම මිනිස් ලෝකයේ දරුණ දඩුවම් ලෙස හිස ගැසීම් අත්පා කැපීම්, ඉන්ද්‍රයයන්ට හානි කිරීම්, ගිණි තැබීම්, ඉරීම් ,හමගැසීම් , ගල් ගැසීම් ආදී තෙරෙක් නොමැති දඩුවම් ඇත. මේවා පෙර එලිපිටට සමහරක් අද සොර රහසේද සිදු කෙරේ. නමුත් බුදු රජානන් වහන්සේගේ දේශනා අනුව මෙම වධ ක්‍රම කිසිවක් වත් අපායකදී සත්ත්වයකු ක්ෂණයකදී ලබන දුකට සමාන නොවේ. හතර වටින් ගිණියම් ලෝහමය බිත්ති වලින් වටඋනු මේවායේ අනේ දුකයි අනේ මහන්සියි කියා හෝ මොහොතක් වත් බිම ඇලවීමටවත් නොහැක. මෙම් ගිණියම් වුනු නිරයේ පැසෙමින් සත්ත්වයෝ නැවතත් අනන්ත ඉරීම් කැපීම් කෙටීම් වලට ලක්වෙති.  

මෙම අපායන්ගේ දුකට අමතරව ඒවායේ කාල සීමාවන් පිළිබදව ඇසීම තවත් මෙහි දරුණු බව වඩවයි. මිනිසාට ආසන්නම චතුර්මහාරාජික දිව්‍ය ලෝකයේ උපදින දෙවියකුගේ සම්පූර්ණ ආයුශ දිව්‍ය අවුරුදු පන්සීයකි. එනම් මිනිස් ලොව අවුරුදු පනහක් එම ලෝකයේ එක් දිනෙකි. එවන් දින තිහක් මාසයකි. එවන් මාස දොලහක් අවුරුද්දක් වන අතර එවැනි අවුරුදු පන්සියයක් එහි පරමායුෂ වෙයි. මෙම ආයුෂ මනුෂ්‍ය ලෝකයට ආසන්නම පලවන ආපාය වන සංජීවකයෙහි එක දවසකි . එවන් දින තිහක් මාසයකි. එවන් මාස දොලහක් අවුරුද්දකි. එවන් අවුරුදු දහසක් එහි පරමායුෂ වෙයි. එලෙසම දෙවන දිව්‍ය ලෝකය වන තුසිතයේ මිනිස් අවුරුදු සියයක් එක් දවසකි. එවන් දින තිහක් මාසයකි. එවන් මාස දොලහක් අවුරුද්දක් වන අතර එවැනි අවුරුදු දහසක් එහි පරමායුෂ වෙයි. දෙවන අපාය වන කාලසූත්‍ර යේ එවැනි අවුරුදු දහසක් එක් දිනකි.  එවන් දින තිහක් මාසයකි. එවන් මාස දොලහක් අවුරුද්දක් වන අතර එවැනි අවුරුදු දෙදහසක් එහි පරමායුෂ වෙයි. මෙසේ අටවන අපාය වන අවීචියේ පරමායුෂ අන්තහ් කල්පයක් වෙයි. එය කොතරම් ගීනියම්ව ඇත්දැයි පවසතොත් ගවු හාරසියයක දුර සිට පවා නරඹන්නකුගේ දෑස් පුපුරා යයි. එසේම සාමාන්‍ය පොලවේ එක් බිම් අගලක පවා සදහස් ගණන් වුනු ක්ෂුද්‍ර ජීවියෝ ඇත. (ක්ෂුද්‍රව ඉපදීමද බුදු දහමේ සදහන් වන පරිදි අධික දුක් ගෙන දෙන ස්ථානයකි.). මෙසේ පෘථිවය මත මිනිසාවද ඇතුලු සියලුම සත්ත්වයින් දිව්‍ය ලෝක ආදිය සැලකුවද අවිචිමහ නරකයේ  ඕනෑම මොහොතක මීට වඩා අති විශාල සංඛ්‍යාවක් දුක් විදින බව පැවසේ. මෙනයින් සාමාන්‍ය ජීවිතයේ අප දඩුවමකට හසු වීම වනාහී සාමාන්‍ය දෙයකි. එසේම පසු කලක අපායෙන් චුත වුනද උපදින භවයන්ගේ නැවතත් මිත්‍යාදෘශ්ටික වීමටම ඇති ඉඩකඩ වැඩිය. මිත්‍යාදෘශ්ටිය පංචාන්තර්යීය කර්මයටත් වඩා භායනක වන්නේ මෙනිසාය. මිත්‍යාදුෘෂිටිය වැලද ගත්තකු නැවතත් සුගතියක නූපදියි යන්නම සිතා ගැනීම සුදුසුය. අනිත් අතට දුගති භවයන්හි චුති සිත බොහෝ විට දුක් හෝ ද්වේශ සහගතම වේ. මෙම නිසා නැවත නැවතත් ප්‍රේත තිරිසන් හා මහනරක වල ඉපදෙමින්  යමින් සත්ත්වයා අනන්ත දුක් විදිති.  

විශ්වය අනන්තය මේ අනන්ත වූ විශ්වයේ බුදු කෙනෙකුන් පහල වන්නේ අප සිටිනා මේ මගුල් සක්වලේ  පමණි.
අනන්ත විශ්වය
මෙම නිසා අනන්ත විශ්වයේ අනන්ත වූ ලෝක වල කුසල් අකුසල් නොමැති අනන්ත වූ ලෝක වල ඉපදෙමින් ධර්මයක් කියා කිසිවක් නොදැන අකුසල්ම කරමින් ඒ ඒ ලෝක වලට අයත් වූ නරකවල ඉපදෙමින් අනන්ත වූ දුක් විදිති. මෙම සත්ත්වයන් කෙරෙහි අපරිමිත අනුකම්පාවෙන් යුතුව බුදු බවට පත්වන සෑම බුදු වරයෙක්ම මේ සත්ත්වයන්ගේ සුවය පතාම මහා විශ්වයට සවණක් රැස් ධාරාවක් මුදා හරින බව පූජා වලියෙහි දැක්වේ. අද දක්වාත් අනන්ත විශ්වය පුරා මේ සවනක් රැස් නිරාමිස් වුනු නේක වර්ණයෙන් බබලමින් ඇදී යයි. කිසියම් ලෝකයක සිටින සත්ත්වයකු මේ සවණක් රුස් දැක අහෝ වර්ණවත් වුනු රැස් දහරකියි කුසල සිතිවිල්ලක් පහල කර ගෙන එම කුසලයෙන් මේ අපගේ මගුල් සක්වල පහල වන බැව පැවසේ. මෙම සත්ත්වයා ඉන්පසු ඉපදෙමින් මැරෙමින් යන්නේ කවදා හෝ කැරකී පෘථිවයට පැමිණ බුදු දහම පවතින සමයක ධර්මය දරා ඝෝරතර සසරින් එතෙර වීමට කරුණු කර ගනී. නමුත් කිසියම් සත්ත්වයකු මෙහිදී නැවත මිත්‍යා දෘශ්ටියට වැටෙන්නේ යලි කිසිදා නොඑන ලෙස අනන්ත ඝෝර සසරේ අනන්ත වූ විශ්වයෙහි අතරමන් වීමද සිදුවිය හැක. බුද්ධෝත්පාද සමයක බෞද්ධයන් ලෙස ඉපිද පවා වෙනත් ආගම් කෙරෙහි යොමුවන්නන් මේ අනුව සිදු කරගන්නා පාඩුව සලකා බලන්න.      


මේ දුක් වලින් මිදී සිටීමටනම් කිසිදු ලෙසකින් පවක් සිදු නොවන ලෙස පිනෙහිම යෙදීමයැයි කිසිවකු සිතයි නම් එය කිසිදා සිදු නොවන බව ඉහත කරුණු අනුව පැහැදිලි වේ. පව් අප සොයා ගෙන අවස්ථාද ඇත. සෝවාන් වත් නොවුනු කිසිවකුටවත් පව් කිරීමෙන් ගැලවී සිටීමට නොහැක.  එම නිසා මේ ගිණි ගොඩින් මිදීමේ එකම මග නම් නිර්වාණවබෝධයයි.  නිර්වාණයම සැපයි, එයම ශාන්තයි, එයම ප්‍රනීතයි, දිව්‍ය බ්‍රහ්ම සැප එහි කුඩා කොටසකටවත් සම කල නොහැක. නිර්වාණ අවබෝධය ලබා ගත් බොහෝ භික්ෂූන් නැවත කිසිදා දුකක් නොවිදන සේ සදාකාලික සැපයට පත්ව මෙසේ උදම් අනයි.  නැවතත් ඔවුන්ට සා පිපාසාවක් තරම්වත් දුකක් නොමැත. ඔවුන් අල්ලා අපායෙහි හෙලිය හැක්කෙක් නැත. සදාකාලික සැපයම පමනි. අනේක වදන් වලින් මෙසේ විස්තර කෙරෙන් නිර්වාණය අවබෝධ කිරීම සදහා සිදු කල යුත්තේ අනිත්‍ය යන්න තේරුම් ගැනීමයි. එයට සිත යොමු කර ගැනීමයි. සියලුම සමථ භාවනාවන් කෙලවර වන්නේ උතුම් වූ නිර්වාණය අවබෝධ කර දෙන විදර්ශණා භාවනාවට බැසීමෙන්. අකුණක් ගසන තරම් කාලයක් හෝ වඩනා මෛත්‍රී සිහියෙන් බුදු කෙනෙකුට ලබා දුන් දානකටත් වඩා අනේක ආනිසංස ලගා කර දෙන බව ධර්මයෙහි දැක්වේ. සියලු සතුන්ට මෛත්‍රිය කිරීමේ ආනිසංශ කියා නිම කල නොහැක. එයට පසුව ඇති අනිත්‍ය මෙනෙහි කිරීම වනාහී මෛත්‍රියද පරදවා ආනිශංස ලබා දේ. කිසිවකු නිර්වාණයට එලඹෙන අටියෙන් අනිත්‍ය වඩයිද ඔහු අපාය ගාමී නොවේ. ඒ භවයේ සෝවාන් වීමටවත් නොහැකි වුවද මරණින් මතු දිව්‍ය බ්‍රහ්ම සැප ලැබීමටද කෙලවර අමා මහ නිවනින් සැනසීම ලබා දීමටද උපකාර වේ.  මෙම නිසා තමුන්ගේ ඇස් කන් නාස් ශරීරය වැනි ඉන්ද්‍රියයන් කෙරෙහි හෝ ජීවිතය කෙරෙහි හෝ අනාපාන සතියෙහි සිත පිහිට වී නම් එහි හුස්ම වටෙන වාරයක් පාසා හෝ නැතිනම් බාහිර වස්තු දකින විට හෝ ඒ වායේ අනිත්‍ය බවම සිහි කල යුතුය. එය මේ දිවියේදීම සත්ත්වයාගේ මමත්වය අඩු කරන අතර මේ දිවියේදීම  දුක් වේදනා බිය අඩුකර දිමට සමත් වෙයි. අනිත්‍ය මෙනෙහි කිරීම තුලින් අප මෙනෙහි කරන්නේ සියලුම දේට පොදු ධර්ම තාවයකි. සියලු දේ අනිත්‍යම වේ. අපද ඉපිද මැරේ ,ලෙඩ රෝග වලට යොමු වේ. අපගේ නෑසිය යහලුවෝද , අපගේ ගේ දොර යාන වාහනද කවදා හෝ විනෂයටම යයි. එම නිසා මේවා කෙරෙහි ඇලී සිටීමෙහි කිසිදු තේරුමක් නොමැත. ඇලී සිටින්නේ මේවායේ අනිත්‍ය බව නොදකිනා හෙයිනි. සෑම මොහොතකම සෑම දෙයක්ම වෙනස් වේ. මෙයට හොදින්ම සිත යොමු වුනු විට මා වනාහීද වෙනස් වන සංස්කාර ගොඩක්ම පමණි, අනෙක් දේද එසේමය මේ වෙනස් වල සංස්කාර ගොඩෙහි වෙන් කර ගැනීමක් නිසා මා යන හැගීමක් ඇතිවී ඇත. ඒ තුල මා දුටු , විදි දේ සියල්ල අනිත්‍ය මගින් මැවුනු මායාම්ම බව තේරුම් ගනී. එවිට තමුන් යන්නකු සැබැවින් නොමැති බවත් අවබෝධ කර ගනී. මෙසේ අනිත්‍යය අවබෝධ කර ගනිමින් එය තේරුම් ගැනීමත් සමග ඒ ඔස්සේ මැවී තිබුනු රූප වල අනිත්‍යයද ප්‍රකට වේ. මෙම අවබෝධයම නිර්වාණයයි. එසේ හැරුනු කොට නිර්වාණ අවබෝධයත් සමග නැතිවුනු හෝ ලබාගන්නා දෙයක් නොමැත. තමුන් මෙන්ම බාහිර ලෝකයද දැනටමත් නොපවතින මායාවක් බව තේරුම් ගැනීමෙන් පසු ඒ ඒ දෙයෙහි සිත අලවනා තෘෂ්නාව බිදී යයි. භව තෘෂ්නාවද මෙසේම කෙලවර වේ. ගලායන සැඩ පහරට ඔබ එකග වීමක් වැනිය. එහි උඩුගම් බලා පිහිනීමට උත්සාහ නොකරයි. 

මෙම නිසා සියලුම දෙනා හැකි සෑම විටම සුලු වෙන් හෝ අනිත්‍යය කෙරෙහිම සිත අලවාගෙන බුදුන් වහන්සේගේම දේශනාව ලෙස හිස ගිණි ගත්තකු ඒ ගිණි නිවීමට උත්සා කරන්නාක් මෙන් අඩුම තරමින් මේ දිවියේදීම සෝවාන් මාර්ගයටවත් පත්වීමට උත්සාහ ගත යුතුය. එසේ නොවුවද අඩුම තරමේ එම උත්සාහය නිසා දුගති උප්පත්තියක් ලබා නොදීමටද මෙය හේතුවේ . එසේ නොකර අනාගතයේ දකින් මෙතේ බෝ සතුන් කෙරෙහි මහණව නිවන් දැකීම වැනි දේ ප්‍රාර්ථනා කිරීමේ තේරුමක් නොමැති බව පැහැදිලි විය යුතුය.  එසේම
පොහොය දිනටවත් කවුරු සිනා වුවද ගණන් නොගෙන පන්සලට ගොස් සිල් රැකීමටවත් පෞර්ෂයක් තිබිය යුතුය. මන්ද යත් සිනාව අනෙක් පස හැරවීමට වැඩි කල් ගත නොවන නිසාය. 

අපාය පිළිබද විචිත්‍රවත් විස්තරයක් ඇති විශිෂ්ඨ ධර්ම දේශනාවක්. වෙලාවක් තිබේ නම් මදක් හෝ අසා බලන්න. අන්‍යන්ටද දැන ගැනීම සදහා බොදා ගන්න. http://www.driveplayer.com/#fileIds=0B9vI6hvJVGt3Nlg4bGtMNnJUWUU&userId=114554734001336780074

අපාය කලා කරුවකුගේ ඇසින් 



http://noble-dhamma.blogspot.com/2010/06/blog-post_23.html


No comments:

Post a Comment